I දේශපාලන වාර්තාකරු
නළ ජල පහසුකම නැති පවුල් එක් ලක්ෂ පනස් දහසකට ඉදිරි මාස තුන ඇතුළත ඉතා සහනදායී ගෙවීමක් යටතේ නළ ජල පහසුකම සැපයීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය කටයුතු සැලසුම් කර තිබේ.
එහි මුල් අදියර ජනවාරි අග භාගය වනවිට ආරම්භ කරන බව එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා දේශයට කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ප්‍රතිඥාවක් ඉටු කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උප ෙදස් පරිදිය.
දැනට මෙරට ජනගහනයෙන් නළ ජල පහසුකම ඇත්තේ 51%කට පමණි. එයින් 40%ක් ජල සම්පාදන මණ්ඩලය මගින්ද ඉතිරි 11% ප්‍රජා ජල ව්‍යාපෘති මගින්ද ජල සම්පාදනය කර ගනී. රටේ සමස්ත ජනගහනයෙන් 42%ක් පමණ ළිං හා වෙනත් ජල මූලාශ්‍රවලින් ජලය ලබාගනිති. ඒ අතර තවත් 7%ක පමණ පිරිසක් භාවිතා කරන්නේ අපිරිසිදු ජලය බව අමාත්‍යංශය තුළ සමීක්ෂණයකින් සොයාගත් බව ලේකම්වරයා කීය.
නව ව්‍යාපෘතිය ජනවාරියේදී ආරම්භ කරන අතරතුර ප්‍රජා ජල ව්‍යාපෘති හා සෙසු ජල මූලාශ්‍රවලින් ජලය ලබාගන්නා ජනතාව වෙනුවෙන් ජලය පිරිසිදු කරදීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.